Tuesday, November 10, 2020

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න.



මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමෙන් සිදුවන හානියකි.

මේ කාලයේ භාවනා වැඩසටහන්වලට සහභාගී වන ලෝකයේ බොහෝ අයට ශාස්තෘ සම්පත්තිය වන ධර්ම-විනය පිළිබඳව නිවැරදිව වටහාගත් දැනුමක් නැත්තේ ය. මෙනිසා ම බොහෝ දෙනෙකු තුළ ඇත්තේ තරඟයකට මෙන් තම තමන්ට ලකුණු දමාගැනීමේ ආශාවකි. මෙනිසා පෞද්ගලික මගපෙන්වීම් කෙරෙහි බුද්ධ වචනයටත් වඩා දැඩි විශ්වාසයක් ඔවුන් තුළ ඇති වී තිබේ. ධර්මය ගැන නොදන්නාකම හේතුවෙන් ඔවුහූ සුළු සමාධි තත්වයක් ඇති වූ පමණකින් ධ්‍යාන නොලබා ම ධ්‍යාන ලැබූ බවට රැවටෙති. මග-ඵල නොලබා ම මගඵල ලැබූ බවටත් රැවටෙති. මෙවැනි අවස්ථා ධර්මයෙහි සඳහන් වන්නේ අධිමාන්නයට පත්වීමක්, උපක්ලේශයන්ට හසුවීමක් වශයෙනි. භාවනා කරන අයෙක් සම්පූර්ණයෙන් ම රැවටී මුළාවට පත්වන්නා වූ උපක්ලේශ දහයක් ඇත්තේ ය. එයින් කොයියම් ම හෝ උපක්ලේශයක් භාවනා දියුණුවක් වශයෙන් රැවටී පිළිගෙන මුළාවකට පත්වුවහොත් ඒ අය තුළ නිසියාකාරව ප්‍රඥාව දියුණු වෙන තුරු ම ඒ මුළාවෙන් නම් ගැලවීමක් නැත්තේ ය. මෙවැනි අවස්ථාවල බොහෝ විට සිදුවන්නේ ඒ උපක්ලේශයන් ම තදින් ග්‍රහණය කරගැනීම යි. ධර්ම-විනයට මුල්තැන නොදීමේ, පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමේ අනතුර එය යි.

භාවනාවේදී යෝගීන් මුළාවට පත්වෙන දසවැදෑරුම් උපක්ලේශයෝ මොනවාද?

  1. (ඕභාසෝ) ආලෝකයක් ඇති වෙයි.
  2. (ඤාණං) අධිෂ්ඨාන කළ දේ වැටහීගෙන යන සෙයක් හැඟේ. විශේෂ ඤාණයක් ඇති වූ සෙයක් හැඟේ.
  3. (පීති) සිතේ බලවත් ප්‍රීතියක් ඇති වේ.
  4. (පස්සද්ධි) කායික සැහැල්ලුවකුත් මානසික සැහැල්ලුවකුත් ඇති වේ. කිසි අපහසුවක් නැතිව භාවනා කරන්ට පුළුවන්කම ඇති වේ.
  5. (සුඛෝ) සිතට මහත් සැපයක් දැනේ.
  6. (අධිමොක්ඛෝ) සිත ලාමක අරමුණුවලට නොගොස් භාවනා අරමුණේ ම ස්ථිරව පිහිටා සිටින බවක් හැඟේ.
  7. (පග්ගහෝ) තමන්ගේ සිත නිරායාසයෙන් ම භාවනා අරමුණට උත්සාහවත්ව පවතින සෙයක් හැඟේ.
  8. (උපට්ඨානෝ) බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වී තිබෙන සෙයක් දැනේ. එමෙන්ම ධර්මය ගැනත් ශ්‍රාවක සංඝයා ගැනත් එවැනි ම හැඟීම් ඇති වේ.
  9. (උපෙක්ඛාවජ්ජනෝ) දහම් කරුණු මෙනෙහි කිරීමේදී මනාව පිහිටි උපේක්ෂාවකින් යුතුව ඒවා ආවර්ජනා කළ හැකි සෙයක් හැඟේ.
  10. (උපෙක්ඛාය නිකන්ති) ඒ උපේක්ෂාවට ම සිත නැඹුරු කොට පවත්වා ගැනීමේ තදබල ආශාවක් ඇති වේ.

(සාරත්ථප්පකාසිනී
සංයුත්ත නිකායට්ඨකථා)

දස උපක්ලේශයෝ මේවා ය. බැලූ බැල්මට මේවා පෙනෙන්නේ භාවනාවේ දියුණු අවස්ථාවන් ලෙස ය. එමෙන් ම මේවා මුලින්ම සිතට එන්නේ සත්‍ය ම වූ දේවල් හැටියට ය. භාවනා කරද්දී මුල් අවදියේ පැමිණෙන මේ උපක්ලේශයන් සම්පූර්ණයෙන් ම ව්‍යාජ ඒවා ය. සත්‍ය ඒවා නොවේ. එහෙයින් නුවණැති යෝගියා කළයුත්තේ මේ කිසිවක් නොපිළිගෙන, මේවායින් උද්දාමයට පත්නොවී දිගට ම විදර්ශනා කිරීමයි. ප්‍රඥාව නියමාකාරයෙන් දියුණු වූ විට සත්‍යය, අසත්‍යය තමන්ට ම වැටහෙන්නේ ය. එය ප්‍රඥාවේ ඇති ආනුභාවයකි.

“ඉමානි දස ඨානානි – පඤ්ඤායස්ස පරීචිතා
ස තත්ථ කුසලෝ හෝති – න ච සම්මෝහං ගච්ඡති.”

“මේ දස උපක්ලේශයන් උපදින අවස්ථාවන්වලදී යමෙකු තුළ ඒ පිළිබඳ ප්‍රඥාව ප්‍රගුණ කොට ඇත්නම්, එම උපක්ලේශයන් හඳුනාගන්ට ඔහු දක්ෂ වෙයි. ඒ ගැන මුළාවටත් නොයයි.”

එසේ නම් මුලින් ම කරගත යුත්තේ උපක්ලේශයන් ඇති වන විට ඒවා හඳුනාගෙන, ඒවා සැබෑ දියුණුවක් නොව ව්‍යාජ ඒවා බව තේරුම් ගැනීම යි. එසේ නැතිව ඒවා සත්‍යය යි අදහාගෙන ග්‍රහණය කරගතහොත් තමන් පෘථග්ජනභාවයේ රැඳී සිටියදී ම මෙපමණකින් ම නිවන් මග අවසන් වනු ඇති.

මේ විපතට තවත් හේතු කාරණා ඇත්තේ ය. විශේෂයෙන් පුද්ගලික මග පෙන්වීම් කරන භාවනා ගුරුවරු මේ උපක්ලේශයන් ගැන සැලකිල්ලක් නොදක්වති. ඔවුහු භාවනා කරන අය ලබන අත්දැකීම් ධ්‍යාන මගඵල ලෙස පැවසීමට ඉක්මන් වෙති. මේවා සැබෑ දේ ලෙස පිළිගනිති. මෙයින් සිදුවන්නේ දෙපාර්ශවය ම තව තවත් නොමග යාම යි.

එමෙන්ම කවුරුත් අවධානය යොමු නොකරන තවත් බරපතල අනතුරක් ඇත්තේ ය. එය පැමිණෙන්නේ නොපෙනෙන ලෝකයෙනි. අප අවට ලෝකයේ සිටින සාමාන්‍ය පෘථග්ජන දේවතාවරු සාමාන්‍ය මිනිසුන් සෙයින් ම ඉතා පහසුවෙන් රැවටෙන, මෝඩකමින් යුක්ත වූවෝ ය. ඇතැම් අයට භාවනා කරද්දී මෙබඳු අමනුෂ්‍යයන් පෙනෙන්ට පටන් ගනී. දෙවිවරු ඇවිත් තමන්ට වැඳුම් පිදුම් කරන අවස්ථා පෙනේ. ඇතැම් භූතයෝ එබඳු යෝගීන්ගෙන් පින් ඉල්ලා සිටිති. ‘අසවල් භික්ෂුව මගඵල ලාභී ආර්ය උතුමෙකි. උන්වහන්සේට දන් පැන් පුදා පින් දෙන්ට’ කියා මිනිසුන්ට ආවේශ වී කියා සිටිති. ඇතැම් අවස්ථාවල ඤාතිභූතයෝ පවා එසේ කරති. ඇතැම් විට මාරපාක්ෂික භූතයෝ යෝගියාව නොමග යැවීමේ අදහසින් ද මෙබඳු දෑ කරති; කරවති.

එකල්හි යෝගියාත් තමන් අසවල් අසවල් මගඵලයන්ට පැමිණි ආර්ය පුද්ගලයෙකැයි තදබල විශ්වාසයක් ඇති කර ගනී. මෙලෙසට අමාරුවේ වැටුනු පසු යෝගීහු තම තමන් ගත් මතවාද තුළ තව තවත් දරදඬු වෙති. බුද්ධ වචනයටවත් හිස නමන්නේ නැත. තමන් නිවැරදි ම යි කියා සිතේ. මෙය වත්මන් ලෝකයේ ධර්මයෙහි හැසිරෙන අය මුහුණපාන අතිශයින් ම සංකීර්ණ වූ, අතිශයින් ම අපැහැදිලි වූ වටපිටාවකි.

මෙයින් බේරෙන්නේ කෙසේ ද?

මෙයින් බේරීමට එක ම මගක් ඇත්තේ ය. එනම්, තථාගත ශාස්තෘ ශාසනය වන ධර්ම-විනයට මුල් තැන දිය යුත්තේ ය. පුද්ගලික මගපෙන්වීම් ඒකාන්ත සත්‍යය යි පිළිනොගත යුත්තේ ය. තමා තුළ ද යහපත් ගුණධර්ම දියුණු වී තිබිය යුත්තේ ය.

මේ ගැනත් සිතා බලන්න.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවෙහි මහා කස්සප මහරහතන් වහන්සේ වැනි අතිශයින් ම සම්භාවනීය වූ ශාසනභාරධාරී රහතන් වහන්සේලාටවත් බුදු සසුනේ හරය වන ධ්‍යානමාර්ගඵලාදිය ලබාදෙනු පිණිස ශාසනයේ මූලිකත්වය නොපැවරූ සේක. උපවර්තන සල්වනයේ පිරිනිවන් යහනේ සැතපී සිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ආනන්දයෙනි, ඔබට මෙබඳු අදහසක් ඇතිවන්ට පුළුවනි. ‘බුද්ධ වචනය අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ය. ශාස්තෘන් වහන්සේ දැන් අපට නැත්තාහ’ කියා ය. ආනන්දයෙනි, මෙකරුණ එසේ නොදැක්ක යුත්තේ ය. ආනන්දයෙනි, මා විසින් යම් ධර්මයකුත් දෙසන ලද්දේ ද, විනයකුත් පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් ඔබගේ ශාස්තෘන් වහන්සේ වන්නේ ඒ ධර්ම-විනය යි” යනුවෙනි. වරක් සහම්පතී මහා බ්‍රහ්මයා පවා පවසා සිටියේ රහතුන් දහසක් බිහිකිරීමට එක් බුද්ධ වචනයකට හැකි බවයි.

එසේ නම් සසර දුකින් මිදී මගඵල ලබනු කැමති අය මුලින් ම කළ යුත්තේ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම-විනය කෙරෙහි පූර්ණ ගෞරවයක්, විශ්වාසයක් ඇතිකරගැනීම නොවේ ද? ඕනෑම නුවණැතියෙකුට ශාස්තෘන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ වචනය තුළින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ගැන අවංක පැහැදීමක් ඇතිකරගැනීමට හැකියාවක් තිබ්බ යුත්තේ ය.

තමන් තුළ ධර්මාවබෝධයට උපකාරී වන ගුණධර්ම ඇතිකරගත යුත්තේ ය.

උඩඟු නැතිකම, පුහු මාන්නය නැති කම, නිහතමානීකම, අනවශ්‍ය වාදවිවාදවලට නොකැමතිවීම, ප්‍රසිද්ධියට ආශා නොකිරීම, පිරිසට අධිපති වෙන්ට ආශා නොකිරීම, ගුණධර්මයන්ට හිස නැමීම, අන්‍යයන්ට තමාගේ දියුණුව පෙන්නීමට හදිස්සි නොවීම, තමාව හුවාදක්වන්ට ආශා නැතිකම, කෙළෙහිගුණ දක්නා බව යනාදිය යි. විශේෂයෙන් ම නිහඬව කලබල නැතිව සිටීමත්, ඉවසීමත් බෙහෙවින් ම උපකාරී වේ. මෙවැනි ගුණධර්ම දිගට ම පවත්වා ගන්ට හැකි වුවහොත් තමන්ට මේ වූයේ කුමක් ද? මේ අත්දැකීම සැබෑවක් ද? මුළාවීමක් ද? මනෝ විකාරයක් දැයි කියා තේරුම් ගැනීමේ අවස්ථාවක් සෙමින් සෙමින් උදාකරගත හැකිය. එයත් ශාස්තෘ සම්පත්තිය වන ධර්මයේ පිහිටෙන් මිස පුද්ගලික මගපෙන්වීම්වලින් නම් නොවේ.

ඒ සඳහා කළ යුත්තේ මෙය බව සංයුත්ත නිකායට්ඨකථාවේ සඳහන් වේ.

එනම් තමා අත්දකින යම් ආලෝකයක් ඇද්ද, යම් ඤාණයක් ඇද්ද, යම් දෙයක් ඇද්ද ඒ සියල්ල ගෙවීයන ස්වභාවයෙන් යුතු (ඛයධම්මං) දෙයක් බවත්, නැසී වැනසී යන අස්ථිර ස්වභාවයෙන් යුතු (වයධම්මං) දෙයක් බවත්, ඇල්ම දුරුකරගත යුතු ස්වභාවයෙන් යුතු (විරාගධම්මං) දෙයක් බවත්, ඇල්ම නිරුද්ධ කරගතයුතු ස්වභාවයෙන් යුක්ත (නිරෝධම්මං) දෙයක් බවත් නුවණින් මෙනෙහි කිරීමයි. ඊළඟට ඒ සෑම උපක්ලේශයක් ගැන ම ඒ ඒ අවස්ථානුකූලව හොඳින් සිහිය පිහිටුවාගෙන ඒවා මාගේ නොවන බවත් (නේතං මම) ඒවා මම නොවන බවත් (නේසෝ හමස්මි) ඒවා මාගේ ආත්මය හෙවත් තමා වශඟයෙහි පවත්වා ගන්ට නොහැකි දේ බවත් (න මේසෝ අත්තා) වශයෙන් ඒ උපක්ලේශයන්ගේ සත්‍ය ස්වභාවය ම නුවණින් මෙනෙහි කළ යුත්තේ ය. විදර්ශනා වැඩීම යනු මෙය යි. ප්‍රඥාව දියුණු කිරීම යනු මෙයයි. සෑම දෙයක ම යථා ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මැනවින් වැටහී යන විට උපක්ලේශයන්ට රැවටී මුලාවට පත්වීමක් නොවන්නේ ය.

එසේ නැතිව කලබල වී උපක්ලේශයන්ට මුළාවී භාවනා දියුණුවක් ලෙස පිළිගතහොත් යෝගියාට දැනෙන්නේ ම තමා ආර්ය උත්තමයෙකු බවයි. නමුත් සත්‍යය නම් ඔහු තවමත් පෘථග්ජනයෙකි. ඒ උපක්ලේශයන්ට මුළාවන ඔහු එයින් කම්පා වෙයි. කම්පාවීම යනු තමන් කලින් සිටි ප්‍රකෘති ස්වභාවයෙන් සිටින්ට නොහැකි වීමයි. තමාගේ අත්දැකීම ඒකාන්ත සත්‍ය බවත්, තමා නිවන් අවබෝධ කළ බවත් අන්‍යයන්ට හඬගා කියන්ට සිතෙයි. තමා ආර්ය උතුමෙකැයි හුවා දක්වන්ට සිතෙයි. එසේ ම කරයි. මගඵල සඟවාගෙන සිටීම වරදක් බවත්, කළයුත්තේ ඒවා හෙළිදරව් කොට අන්‍යයන්ව ද මේ මාර්ගයේ උත්සාහවත් කොට සැනසීම ලබාදීම බවත් කියමින් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අවසන් මොහොතේ දී ශාස්තෘ තනතුරේ තබා වදාළ ධර්ම විනය නමැති ශාස්තෘ සම්පත්තිය පවා ඉක්ම යයි. ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ යටතේ සිටින්ට නොහැකි වෙයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ධර්ම විනයට මුල්තැන දී ඒ යටතේ සිටිය හැකි ආකාරයේ ගුණධර්ම දියුණුවක් තමන් තුළ ඇතිවී නැති නිසා ය.

මෙකී දුර්වලතාවන්ට හසුවුවහොත් පළමුව නොමග යන්නේ ධර්ම විනයට නොව තම අත්දැකීමට මුල් තැන දුන් තැනැත්තා ය. අනතුරුව නොමග යන්නෝ ඒ තැනැත්තාගේ පුද්ගලික මගපෙන්වීම ඒකාන්ත සත්‍යය යැයි අදහාගෙන සිටින්නෝ ය. කෙනෙකු තුළ උඩඟුකමත් මෝඩකමත් බලවත්ව තිබුණහොත් එබඳු අය දැනුවත් කිරීම අසීරු වෙයි. එබඳු අය පහසුවෙන් නොමග යති. මෙය මෙකල මේ ලෝකයෙහි ධර්මයේ හැසිරෙන අයට පොදු වූ ස්වභාවයකි.
මෙහි ප්‍රතිඵලය වන්නේ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය මුල්කරගැනීම වෙනුවට උපක්ලේශයන්ගෙන් මුළාවට පත්වූවෙකු මුල් තැනට පැමිණීම යි. මෙවන් පුද්ගලයෝ ධර්ම විනයට මුල්තැන නොදෙති. ධර්ම විනයේ ශාස්තෘත්වය බැහැර කරති. තමාගේ මතය සනාථ කරගැනීමට අවශ්‍ය තැනේදී පමණක් සූත්‍රපාඨ උපුටා දක්වති. තම මතයට බාධා පමුණුවන සූත්‍රයක් දුටු කල්හි ‘පස්සේ කාලේ වැරදුනු තැන් නොවැ, බුද්ධඝෝෂ තෙරුන් කළ විකෘතියක් නොවැ’ කියා බැහැර කරති. මෙවැන්නන්ගේ අනුගාමිකයෝ ද ධර්ම විනය මුල්කොට ගත් තිසරණය අහිමි කරගත්තෝ ය. උපක්ලේශයෙන් නොමග ගිය පුද්ගලයන් සරණ කොට සිටින්නෝ ය. එකී පුද්ගලයන්ව ම හුවාදක්වන්නෝ ය. මග වරදවා ගත්තෝ ය.

මෙවන් පරිසරයක් තුළ සැබෑ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය මුළුගැන්වෙයි. උපක්ලේශයන්ගෙන් මුළාවට පත්වූවන්ගේ නායකත්වය නිසා ශාසන විලෝපයක් ඇතිවේ. සාරත්ථප්පකාසිනී නමැති සංයුත්ත අටුවාවෙහි මෙවැනි අභාග්‍යසම්පන්න තත්වයට පත්වූ අය හඳුවන්නේ ‘අධිගම ප්‍රතිරූපකයෝ’ හෙවත් ‘ව්‍යාජ මගඵලලාභීහු’ වශයෙනි. ධර්ම විනයට මුල්තැන නොදී තම තමන්ගේ ධර්මාර්ථ විග්‍රහයන් මතුකරන හෙයින් මෙබඳු අයගෙන් ‘සද්ධර්ම ප්‍රතිරූපක’ හෙවත් ‘ව්‍යාජ ධර්මය’ පහළ වේ. මෙය ද හේතුවන්නේ බුදු සසුනෙන් පිළිසරණ ලබාගැනීමට නොවෙයි. තව තවත් සසුන් මග අවුල් වී යාමට ය. මෙනිසා ම බොහෝ දෙනෙකුට මගඵල පමණක් නොව සුගතියෙහි ඉපදීමට ඇති අවස්ථාව පවා අහිමි වී යනු ඇත.

එනිසා නුවණැති ශ්‍රාවකයන් කළයුතු වන්නේ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනයට මුල්තැන දීම ම යි. තම අත්දැකීමට දෙවෙනි තැන දීමයි. නිහතමානීව, නිහඬව, ඉවසීමෙන් යුතුව ධර්මය ම පුරුදු කිරීම යි. මගඵල ලබාගත හැකි අයුරින් ශාස්තෘ සම්පත්තිය නොඅඩුව පිහිටා ඇති ධර්ම විනයට පළමුකොට ගරු බුහුමන් දැක්විය යුත්තේ ය. මනාකොට ඉගෙනගත යුත්තේ ය. පිළිපැද්ද යුත්තේ ය. තමා ද ඊට සුදුස්සෙකු වන අයුරින් ගුණධර්ම දියුණු කරගත යුත්තේ ය. මක් නිසා ද යත්; සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් මගඵල ලබාදෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාස්තෘ ශාසනයෙන් පමණක් නිසා ය. අප භාග්‍යවතුන් වහන්සේ ධර්මස්වාමී වන සේක. නිවන් මග මැනවින් අවබෝධ කරගත් මග්ගඤ්ඤූ වන සේක. නිවන් මග පිළිබඳ මහා නුවණැතිව මග්ගවිදූ වන සේක. නිවන් මගෙහි අතිශයින් ම දක්ෂව මග්ගකෝවිදෝ වන සේක.

අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් වර්තමාන කාලය දක්වා සියලු භික්ෂූන් වහන්සේලා කරනු ලබන්නේ ඒ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය ම මැනවින් දක්වාලීම ය. ශ්‍රාවකයෝ වනාහී මගඵල තීරණය කරන්නෝ නොවෙති. ඔවුහු ශාස්තෘන් වහන්සේ වදාළ ධර්ම විනය පිළිසරණ කොට ශාස්තෘන් වහන්සේ පසුපසින් යමින් නිවන් මග යන්නෝ ය.

මගඵල යනු ධර්මයේ හැසිරීම හේතුවෙන් ශාස්තෘ සම්පත්තිය තුළින් ම පමණක් ශ්‍රාවකයන්ට ලැබෙන දායාදයකි. එය පෞද්ගලික මගපෙන්වීම්වලින් නොලැබිය හැකි දෙයකි. නුවණැත්තෝ මෙය වටහාගනිත්වා! ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය තුළ උතුම් තිසරණය රැකගනිත්වා!

“ඛණෝ වෝ මා උපච්චගා!”

“ඉතා දුලබව ලද ක්ෂණ සම්පත්තිය ඔබව ඉක්ම නොයේවා!”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Share:

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

 


බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමති නොවනු ඇත. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයාව හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී (අස්සුතවා පුථුජ්ජනෝ) අශ්‍රැතවත් පෘථග්ජනයා යන පද යුගලය ම භාවිත කොට තිබේ. අශ්‍රැතවත් යනු සද්ධර්ම ශ්‍රවණය තුළින් උපදවාගත යුතු දේ උපදවා නොගත් තැනැත්තා යන්නයි. මේ අශ්‍රැතවත් පෘථග්ජනයාගේ මූලික ලක්ෂණ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අයුරින් වදාරණ ලද්දේ ය. එනම් අශ්‍රැතවත් පෘථග්ජනයා වනාහී,

  1. අරියානං අදස්සාවී – සැබෑ ආර්ය පුද්ගලයන් නොහඳුනයි.
  2. අරියධම්මස්ස අකෝවිදෝ – ආර්ය ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
  3. අරියධම්මේ අවිනීතෝ – ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙකි.
  4. සප්පුරිසානං අදස්සාවී – ඒ වගේ ම සැබෑ සත්පුරුෂයන් නොහඳුනයි.
  5. සප්පුරිසධම්මස්ස අකෝවිදෝ – සත්පුරුෂ ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
  6. සප්පුරිසධම්මේ අවිනීතෝ – සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු කෙනෙකි.

මේ අනුව අශ්‍රැතවත් පෘථග්නයා තුළ ඉහත කී ලක්ෂණ හය නිරතුරුව විද්‍යමානව පවතී. මෙකී ලක්ෂයන් තිබීම හේතුවෙන් ම ඔහු අනේකවිධ මතිමතාන්තරයන්ට ද දෘෂ්ටි සංකල්පයන්ට ද පුද්ගලයන්ට ද අන්ධානුකරණයෙන් ප්‍රතිබද්ධව වාසය කරයි. ඒ පිළිබඳව සංයුත්ත නිකායෙහි අත්තදීප සූත්‍රයෙහි විස්තර වන්නේ මේ අයුරිනි.

“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය ආත්මයක් වශයෙන් මුළාවෙන් දකියි. ආත්මය රූපයෙන් හැදුනු දෙයක් යනුවෙන් මුළාවෙන් දකියි. රූපය තිබෙන්නේ ආත්මය තුළ ය යනුවෙන් මුළාවෙන් දකියි. ආත්මය තිබෙන්නේ රූපය තුළ ය යනුවෙන් මුළාවෙන් දකියි.”

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අශ්‍රැතවත් පෘථග්නයා ආත්මීය හැඟීම කේන්ද්‍ර කරගත් තැනැත්තෙක් බවයි. ඔහුට ආත්මයක් අවශ්‍ය ය. එමෙන් ම ආත්මයකට අයත් දෙයක් අවශ්‍ය ය. එවිට ඔහු නොදැනීම සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය ආත්ම වශයෙන් ගනියි. එමෙන් ම වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයත් ආත්ම වශයෙන් ගනියි. මෙසේ ආත්ම වශයෙන් ගැනීම නිසා සිය කය පිළිබඳව මෙන් ම තමා විඳින සැප දුක් පිළිබඳව ද තමා දන්නා හඳුනන දේ පිළිබඳව ද තමන් කරන්නා වූ ක්‍රියාකාරකම් පිළිබඳව ද තමාගේ සිත පිළිබඳව ද මහත් වූ මුළාවකට පත්වේ. මෙබඳු තැනැත්තා දැඩි ලෙස බැඳී සිටින්නේ ඒ සියල්ල ම ‘තමා’ හෝ ‘තමාගේ’ හෝ ‘තමාට අයත්’ දෙයක් වශයෙනි. මේ මතයෙන් නිදහස් වීම මොහුට කළ නොහැකිය. සත්‍ය වශයෙන් ම මොහු ආත්මය යනු කුමක්දැයි නොදනියි. අනාත්මය ද නොදනියි. නිවන ද නොදනියි. මොහුට ඒ සියල්ල ම තමා අයත් දෙයකි. සක්කාය දිට්ඨිය යනු මෙයයි. මේ සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ද, ධර්මය සරණ ගිය ද, ශ්‍රාවක සංඝයා සරණ ගිය ද ඒ සරණෙහි ස්ථිරව පිහිටා සිටින්නට අසමත් වෙයි. ඔහුගේ සරණ වහා බිඳී යයි. ඔහුගේ සීලය ද වහා බිඳී යයි. ඔහුගේ ශ්‍රද්ධාව පහසුවෙන් ම විලාසිතාවක් බවට පත්වේ. ඔහු වෙනත් මති මතාන්තර සුවසේ වැළඳ ගනියි. බුද්ධ දේශනා පවා තමාගේ අවශ්‍යතාවයන් උදෙසා යෙදවීමට පසුබට නොවෙයි. මෙනිසා මොහු සෝතාපත්ති අංගයන්ගෙන් තොර කෙනෙකි. එනම්, ධර්ම මාර්ගයට පැමිණි පුද්ගලයෙකු තුළ පිහිටන ගති ලක්ෂණවලින් බැහැර වූවෙකි. මෙවැන්නෙක් සැදැහැබර බව පෙන්වා සිටියත් එය හුදෙක් පිටස්තර පෙන්වීමක් මිස අභ්‍යන්තර ගුණයක් නොවේ. මොහු ප්‍රඥාවන්ත බව පෙන්වා සිටිය ද එය හුදෙක් තර්කය පදනම් කොටගත් මතවාදයක් මිස හැබෑ ප්‍රඥාවක් නොවේ. මොහුගේ සමාධිය ද ආර්ය සත්‍යාවබෝධයෙන් තොරව තිබෙන්නක් හෙයින් සම්මා සමාධිය ද නොවේ.

වරක් අප භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන කල්හි නන්දිය නමැති ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම ප්‍රශ්නය අසා සිටියේ ය.

“ස්වාමීනී, යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන් ම මුළුමනින් ම හැම අයුරින් ම දකින්නට නැද්ද, මෙවන් ශ්‍රාවකයා ස්වාමීනී, ප්‍රමාදී පුද්ගලයා වශයෙන් කිවයුතු නොවේ ද?”

එවිට අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙයයි. “එම්බා නන්දියෙනි, යමෙකු තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන් ම මුළුමනින් ම හැම අයුරින් ම දකින්නට නැද්ද, මා ඔහු ගැන කියන්නේ බුද්ධ ශාසනයට අයිති නැති පෘථග්ජන පක්ෂයට අයත් කෙනෙකු වශයෙනි.”

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ පෘථග්ජනයා සතර සෝතාපත්ති අංගයන්ගෙන් තොර බවයි. සතර සෝතාපත්ති අංග යනු මොනවාද? එනම්, සෝවාන් වූ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි පුද්ගලයෙකු තුළ අනිවාර්යයෙන් ම පිහිටන ගති ලක්ෂණ සතර මොනවාද? එනම් ආර්ය ශ්‍රාවකයා,

  1. බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති – බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොන ම හේතුවක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වේ.
  2. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති – ශ්‍රී සද්ධර්මය කෙරෙහි මොන ම හේතුවක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වේ.
  3. සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති – බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මගඵලලාභී ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි මොන ම හේතුවක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වේ.
  4. අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති – ආර්ය වූ සත්පුරුෂ උතුමන්ගේ පැහැදීම ඇතිවන සීලයෙහි අඛණ්ඩව පිහිටා සිටින ගුණයෙන් යුක්ත වේ.

මෙකී සෝතාපත්ති අංගයන් ස්ථිරව පිහිටන්නේ මගඵලලාභීන්ට පමණි. පෘථග්ජන පක්ෂයේ සිටින අන්‍යයෝ කලකට සැදැහැයෙන් ඉපිළ යන සෙයක් පෙන්වමින් භක්තිභාව ගුණෝපේතව වාසය කරති. තවත් කලකට ඔවුහු එය ම සැක කොට තිසරණය පවා අත්හැර වෙනත් ඇදහීම්වලට ගොස් ඒ අයුරින් ම භක්තිභාවයෙන් වසති. ඔවුහු කලකදී සීලයෙන් සුසෝභිත වූ සෙයක් පෙන්වති. තවත් කලක දී ‘මෙකල සිල් රැකීම නොකළ හැක්කකි. සිල්වත්හු යනු කුහකයෝ ය’ යනාදී වශයෙන් අන්‍ය වූ සිල්වතුන්ටත් ගරහමින් තුමූ දුසිල් වෙති. ඒ පෘථග්ජනයෝ භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද ධර්මය ද නුනුවණින් ගෙන වාදාභිමුඛව අත්තුක්කංසන පරවම්භනයෙහි යෙදී සිටිති. ඔවුහු බොහෝ සෙයින් සත්පුරුෂ ධර්මය හඳුනාගත නොහැකි අභාග්‍යවන්තයෝ ය. ඔවුහු තමාගේ පැවැත්මට කිසියම් වූ අනුබලයක් කිසියම් අයුරකින් සොයන්නෝ ය. ඔවුන් හට සත්‍යයෙන් කම් නැත. ධර්මයෙන් කම් නැත. කෘතගුණයෙකින් කම් නැත. මොනයම් අයුරකින් හෝ ලෝවැස්සෝ තමාව විශේෂ කොට සළකත් නම් එපමණකින් සෑහේ.

මේ නිසා පෘථග්ජනයා වහා වෙනස්වන සුළු චරිත ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. ඔවුන්ගේ වෙනස්වීම හුදෙක් සිය චර්යා රටාවට පමණක් සීමා නොවේ. තමන්ට හමුවන හමුවන දේ ඉදිරියෙහි වෙනස් වීමට ලක්වෙති. මෙබන්දෝ ස්ථිර ගුණයක පිහිටා සිටිත් නම් ඔවුහු ඉතා විරලයහ.

පෘථග්ජනයා හට ඇති ඉතා බිහිසුණු අනතුර නම් ඔවුන්ගේ ඉරණම නිරතුරුව නැඹුරු වී තිබෙන්නේ සතර අපාය කෙරෙහි වීමයි. සතර අපායෙන් මුදවාලීමේ හැකියාවක් ඔවුන් තුළ නැත. සතර අපායෙන් මුදවාලීමේ හැකියාව තිබෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් තුළ ය. ඒ ඉන්ද්‍රිය යනු සාමාන්‍ය වශයෙන් අප කතා කරන, අප තුළ ඇති ෂඩින්ද්‍රියයෝ නොවෙති. ෂඩින්ද්‍රියයෝ යනු ඇස, කන, නාසය, දිව, කය, මන යන සය ය. මේවාට සතර අපායෙන් මුදවාලීමේ හැකියාවක් නැත්තේ ය.

අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළේ නම් ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටයි. ඔහු පෘථග්ජනයෙක් නොවේ. ආර්ය පුද්ගලයෙකි. ආර්ය ධර්මයෙහි හික්මුණෙකි. සත්පුරුෂයෙකි. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණෙකි. ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රියයන් තමන්ගේ අවබෝධයෙහි ප්‍රමාණයට පිහිටා ඇත්තේ ය. ඔහු සතර අපායෙන් මුදවා සුගතිය කරා ගෙන යන්නේ තමන් තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලයෙන් විනා වෙනකක් නිසා නොවේ. පෘථග්ජනයා තුළ එබඳු ඉන්ද්‍රියයන් පිහිටා නැත්තේ ය. එහෙයින් පෘථග්ජනයෙකු ඉතා කැපවීමකින් ධ්‍යාන සමාධියක් උපදවාගෙන එයින් නොපිරිහී බඹලොවෙහි උපදින නමුත් එහිදී හෝ ඔහුට ආර්ය සත්‍යාවබෝධයකින් ඉන්ද්‍රිය ධර්මයන් උපදවා ගන්නට නොහැකි වුවහොත් එයින් චුත වූ විට සතර අපායට ම ඔහුගේ ගමන විවෘත වී ඇත්තේ ය. මෙනිසා පුහුදුන් බව යනු සතර අපායට වැටෙන ස්වභාවය ම ය.

මෙයින් අදහස් කළේ පෘථග්ජන කෙනෙකු ධ්‍යාන සමාපත්ති ආදිය නොවඩා සිටිය යුතු බව නොවේ. පෘථග්ජන කෙනෙකු තෙරුවන් සරණ නොයා සිටිය යුතු බව නොවේ. පෘථග්ජන කෙනෙකු සිල් සමාදන් නොවී සිටිය යුතු බව නොවේ. පෘථග්ජන කෙනෙකු දන්පැන් නොදී සිටිය යුතු බවක් නොවේ. පෘථග්ජනයා තුළ ස්වාභාවික ලෙස පිහිටා ඇති අන්තරායකාරී සසර ගතිය යි. ඒ අන්තරාය නම් සතර අපායෙහි වැටෙනසුළු බව ම ය.

බුදුරජාණන් වහන්සේ නමක් ලොවෙහි පහළ වන්නේ දෙව් මිනිස් ලෝකයා මේ පෘථග්ජන භාවයෙන් මුදවාලීම පිණිස ම ය. සත්පුරුෂ භූමියට පමුණුවාලීම පිණිස ය. සත්පුරුෂ ධර්මයෙහි හික්මවාලීම පිණිස ය. ඒ හේතුවෙන් සසර ගමනෙහි නිමග්නව සිටින පුහුදුන් සත්වයෝ සත්‍යාවබෝධය නිසාවෙන් ම ඒ පුහුදුන් ගතියෙන් නිදහස් වෙති. ඔවුහු හේතුඵල දහම පසක් කළාහු වෙති.

පෘථග්ජනයා මම ය, මාගේ ය, මාගේ ආත්මය ය කියා තමා කේන්ද්‍ර කොට සියල්ලට මුළාවෙන් බැඳී සිටිද්දී එයින් නිදහස් වූවන් සිතන්නේ එයට හාත්පසින් ම වෙනස් අයුරිකිනි. එනම් ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මං’ යනුවෙනි. එහි තේරුම ‘ලෝකයෙහි හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යම් කිසිවක් ඇත්ද, ඒ සියල්ල ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයෙන් යුක්ත ය’ යන අවබෝධය යි. මෙයට කියන්නේ ධම්මචක්ඛු හෙවත් දහම් ඇස කියා ය. මේ දහම් ඇස පෘථග්ජනයාට නැත්තේ ය. එය භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලෝක ස්වභාවයට අයත් හේතුඵල දහම අවබෝධ වීමෙන් ම උපදින්නා වූ ඇසකි. එම ඇස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් උපදින භාග්‍යවතුන් වහන්සේට ම අයත් දෙයක් මිස වෙන කිසිවෙකුට අයත් දෙයක් නොවේ. ඒ ඇස උපදිනා තුරු ලොවෙහි සියල්ලෝ පෘථග්ජනයෝ ය. සතර අපායෙහි වැටි වැටී දුක් විඳින්නෝ ය. ආර්යයන් වහන්සේලා නොහඳුනන්නෝ ය. ආර්ය ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝ ය. ආර්ය ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝ ය. සත්පුරුෂයන් නොහඳුනන්නෝ ය. සත්පුරුෂ ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝ ය. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝ ය. අහෝ….! මේ පුහුදුන් බව යනු කෙතරම් බිහිසුණු ස්වභාවයක් ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Share:

උතුම් තිසරණයට අනතුරු නොකර ගනිත්වා!

 “මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ නූපන් නිවන්මග උපදවන්නා ය. නොහටගත් නිවන්මග හටගන්වන්නා ය. දෙව්මිනිස් කිසිවෙකු නොපවසන ලද නිවන් මග පවසන්නා ය. නිවන් මග මැනැවින් දන්නා ය. නිවන් මග මැනැවින් අවබෝධ කළ කෙනා ය. නිවන් මගෙහි දක්ෂ වූ කෙනා ය. මහණෙනි, මෙකල්හී ශ්‍රාවකයෝ ඒ මග යමින් තථාගතයන් පසුපසින් ගමන් කරමින් හැසිරෙති.”

(සම්බුද්ධ සූත්‍රය – සං. නි. 3)

අපගේ බුදුරජාණන් වහන්සේ මේ වදාළ කරුණ ගැන මොහොතක් හිතන්න. අප කුමක් කතා කළත් මේ බුදු සසුන අයිති භාග්‍යවතුන් වහන්සේට ය. ධර්ම විනයෙහි නිර්මාතෘහු භාග්‍යවතුන් වහන්සේ ය. ධර්ම විනය පිළිබඳ අර්ථ විවරණ සපයන මහා විශාරදයාණෝ භාග්‍යවතුන් වහන්සේ ය. ධර්මස්වාමීහු භාග්‍යවතුන් වහන්සේ ය. මෙය දෙව් මිනිස් ලෝකයෙහි විද්‍යමාන වූ පරම සත්‍යයකි.

නමුත් වත්මන් ලෝකයෙහි බෞද්ධ ජනයා ඒ ධර්ම විනය කෙරෙහි ගෞරව කරන බවක් නොපෙනේ. එය තුට්ටුවකට මායිම් කරන බවක්වත් නොපෙනේ. බොහෝ ගිහි පැවිදි අය කරනු ලබන්නේ තමන්ගේ මතයක් පැවසීම යි. එතැනින් නොනැවතී තමන්ගේ මතය සමාජගත කිරීම පිණිස තමන් රහත් ය, අසවල් අසවල් ධ්‍යාන ලබා ඇත්තේ ය. පටිසම්භිදා ලබා ඇත්තේ ය. අන්‍යයන් ද මගඵල ලැබීම පිණිස ත්‍රිවිධ රත්නයේ සරණ ගොස් මග වැඩීම වෙනුවට තමා ළඟට පැමිණ තමාගෙන් උපදෙස් ගත යුත්තේ ය යනාදී ඉතා ළාමක වූ පවිටු අදහස් පවසමින් තමන් වටා ජනයා ඒකරාශී කරයි. ජනයාට ද උවමනා ඇසට පෙනෙන කෙනෙකුගෙන් සජීවීව අසමින් කවුරුන් හෝ විශේෂ පුද්ගලයෙකු සරණ යෑමට යි. ඔවුන්ට අවංකව ම තෙරුවන් සරණ යෑමේ අවශ්‍යතාවක් ගැන නිසියාකාරව නොවැටහේ.

වත්මන් ගිහි පැවිදි බොහෝ අය තම තමන්ට හිතු මනාපයට ධර්ම අර්ථ තෝරමින් එහි කොතරම් අන්තයට ගියාහු ද යත්, බුද්ධ වචන ඉතා නින්දිත ආකාරයෙන් වෙනස් කරති. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණයට ගරහති. පටිච්ච සමුප්පාදය යන වචනයට අමුතු ම විකෘති අර්ථ දෙති. සං සං කියමින් අමුතු ම සං බණක් කියති. කොටින් ම භාග්‍යවතුන් වහන්සේගේ ජන්ම භූමිය පවා විකෘති කොට පෙන්වති. ඔවුන්ට සිල්පද ගැන කිසි ගාණක් නැත. රහත් වූ අයට ඇවැත් නැත කියමින් දායකයන් ලවා ම රාත්‍රියට ආහාර ගෙන්වාගෙන අනුභව කරති. පුද්ගල සරණින් මුළා වූ ළාමක පුද්ගලයෝ ද ඔවුන් පසුපස යමින් ඉතා කලාතුරකින් ලැබෙන ත්‍රිවිධ රත්නයේ සරණ යෑම අත්හරිති.

ලාභ සත්කාරයෙහි මත්වූ, අධිපතිභාවයට ඇති ආශාවෙන් උමතු වූ ඔවුන් කරමින් සිටින භයානක දෙය සුළුපටු නොවේ. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී මාර්ගඵල ගැන වදාළේ භික්ෂුවක් තමන් ලද මගඵල උපසම්පන්න නොවූ කෙනෙකුට නොකිව යුතු බවටයි. අද අපගේ ශාස්තෘන් වහන්සේගේ ඒ වචනයට ගෞරව දැක්වීමක් නැත. මේ සිදුවීම ගැන බලන්න.

ඒ දිනවල රජගහ නුවර සිටුවරයෙක් අමුතු දෙයක් කොට තිබුණි. එනම්, ඉතා වටිනා සඳුන් අරටුවකින් අලංකාර පාත්‍රයක් නිර්මාණය කරවා හුණගස් කීපයක් එකට ඈඳා ඉතා උසට නංවා ඒ මත අර පාත්‍රය තැබ්බවූයේය.
“යමෙක් රහත් නම්, ඉර්ධිමත් නම් මේ පාත්‍රය තබන ලද්දේ ඔහු උදෙසා ය. ඔහු අහසින් පැමිණ මේ පාත්‍රය ගෙන පහළට බසීවා” කියා ය.

මේ පණිවිඩය රජගහ නුවර පුරා මහා කැළඹීමක් ඇතිකරන්නට සමත් විය. එකල තමන් රහත් ය, සම්බුද්ධ ය කියමින් ජනයා පිරිවරා සිටි පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බලී, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨ නාථපුත්‍ර යන උදවිය ද කැළඹී ගියහ. මොවුහු වෙන වෙනම රජගහ නුවර සිටුතුමා මුණගැසීමට ගියහ. “අනේ පින්වත් සිටුවරය, මම ද රහතෙක් මි. ඉර්ධිමත් කෙනෙක් මි. මට ඔය සඳුන් පාත්‍රය දෙනු මැනව.” යි කීහ.

“ඉතින් ස්වාමීනී, තමුන්නාන්සේ රහතෙක් නම්, ඉර්ධිමතෙක් නම් මේ පාත්‍රය තබා තිබෙන්නේ ඔබ උදෙසා ම ය. අහසට පැන නැගී එය රැගෙන බිමට බසිනා සේක්වා!” කියා සිටුතුමා පිළිතුරු දුන්නේය. කිසිවක් කරකියා ගත නොහැකිව සිටි මේ රහත් වේශධාරීන් හට කරබාගෙන යන්නට සිදුවිය.

දවසක් අපගේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් රජගහ නුවර පිඬුසිඟා වැඩියහ. රජගහ නුවර සිටුවරයා එකක් මත එකක් උණගස් ඈඳා ඒ මත සඳුන් පාත්‍රය තබා ඇති ආකාරය උන්වහන්සේලාට දැකගන්නට ලැබුණි. එවිට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේට මෙසේ පැවසූ සේක.

“ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ රහත් නොවැ. ඒ වගේම ඉර්ධිමත් නොවැ. අර හරි අගේට සඳුන් පාත්තරේ පෙනෙන්නේ. අහසට පැන නැගී එය රැගෙන පහළට වඩිනු මැනව. ඒ පාත්‍රය ඔබගේ ය.” එතකොට අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඇවැත් භාරද්වාජයෙනි, ඇයි මා විතරක් ද? ඔබ ද රහතෙකි. ඉර්ධිමතෙකි. වඩින්ට. අහසට පැනනැගී පාත්‍රය ගෙන පහළට බසින්ට. එය ඔබගේ ය.”

එවිට අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසට පැනනැග උණගස් මුදුනේ තිබුණු පාත්‍රය අතට ගෙන රජගහ නුවර සිසාරා අහසින් වැඩි සේක. මෙය දුටු රජගහ නුවර සිටුතුමා සිය අඹුදරුවන් සහිතව දොහොත් මුදුන් දී වැඳගෙන හඬ නගා මෙහෙම කිව්වේය. “අනේ අපගේ ආර්ය වූ භාරද්වාජයන් වහන්ස, මේ අපගේ නිවසට වඩින සේක්වා!” එතකොට පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ රජගහ නුවර සිටුනිවසට අහසින් වැඩි සේක. සිටුතුමා උන්වහන්සේගේ පාත්‍රයට දන්පැන් පිළිගැන්නුවේය.

පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේගේ මේ ඉර්ධි ප්‍රාතිහාර්යයට වසඟ වූ රජගහනුවර වැස්සෝ නැවත නැවත ප්‍රාතිහාර්ය දක්වන්න යැයි ඉල්ලමින් උන්වහන්සේ පිටුපසින් මහ පෙරහැරක් හැදුනි. ඒ ගිහි උදවියගේ කෑකොස්සන් ගැසීම භාග්‍යවතුන් වහන්සේට ද අසන්නට ලැබුණි. “ආනන්දයෙනි, මේ ඇසෙන මහා ඝෝෂාව කිමෙක් ද?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපගේ පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් අහසට පැන නැගී රජගහ නුවර සිටුතුමාගේ පාත්‍රය අරගෙන පහළට බැසලා නොවැ. දැන් මිනිස්සු උන්වහන්සේව පිරිවරාගෙන ප්‍රාතිහාර්යය දක්වන්න කියා කියනවා.”

මේ කාරණය මුල්කොටගෙන භාග්‍යවතුන් වහන්සේ සංඝයා රැස්කොට පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේව කැඳවා වදාළ සේක. “හැබෑද භාරද්වාජයෙනි, තොප විසින් අහසට පැන නැගී රජගහ නුවර සිටුහුගේ සඳුන් පාත්‍රය බිමට ගන්නා ලද්දේ ද?” “එසේය භාග්‍යවතුන් වහන්ස, එය සැබෑවකි.”

“භාරද්වාජයෙනි, මෙය පැවිද්දන්ට නොගැලපෙන දෙයකි. නුසුදුසු දෙයකි. භික්ෂුවකට නොගැලපෙන දෙයකි. අකැප දෙයකි. නොකළ යුතු දෙයකි. භාරද්වාජයෙනි, මේ නොවටිනා ලී පාත්‍රයක් වෙනුවෙන් ගිහියන්ට ඉර්ධි ප්‍රාතිහාර්යය දැක්වූවා නොවේ ද? භාරද්වාජයෙනි, ස්ත්‍රියක් නොවටිනා මස්සක් පමණ ලාභ මිලකට තමන්ගේ සිරුරේ අඟපසඟ පෙන්වයි ද ඒ ආකාරයෙන් ම තොප විසිනුත් නොවටිනා ලී පාත්‍රයක් උදෙසා ගිහියන්ට ඉර්ධි ප්‍රාතිහාර්යය පෙන්නුවා නොවේ ද? භාරද්වාජයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීමට හේතුවන කරුණක් නොවේ. පහන් වූවන්ගේ පැහැදීම වැඩිවීමට හේතුවන කරුණකුත් නොවේ. නොපහන් වූ අයගේ වඩා නොපැහැදීමටත්, පහන් වූවන්ගේ පහන්බව වෙනස්වීමටත් හේතුවන කරුණකි.”

මෙසේ නොයෙක් අයුරින් ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වීම ගැන දෝෂාරෝපණය කළ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, ගිහියන් හට රහත් බව හෝ ඉර්ධි ප්‍රාතිහාර්ය කිරීම හෝ නොදැක්විය යුතුය. එසේ දක්වන්නේ නම් ඔහුට දුකුළා ඇවතකි.”

තවත් වරෙක භාග්‍යවතුන් වහන්සේ සතරවෙනි පාරාජිකාව ලෙස භික්ෂු භාවය නැතිවීමට හේතුවන කරුණක් වශයෙන් වදාළේ තමන් තුළ නැති ධ්‍යාන, මාර්ගඵල, රහත්බව ආදිය කිසිවෙකුටත් නොකිව යුතු බවයි. මෙකල තමන්ගේ මතය උපුටා දැක්වීම පිණිසත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපිදවීම පිණිසත් මාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබාගැනීම පිණිසත් ජනයා පිරිවරාගැනීම පිණිසත් ධර්ම විනයෙන් යුක්ත බුද්ධ වචනය තුට්ටුවකට මායිම් නොකරන අමුතු ම මාදිලියේ භික්ෂු පිරිසක් තමන් රහත් ය කියා හුවාදැක්වීම බලවත් ශාසනික අර්බුදයකි. මෙයට වසඟ වූ ගිහි පිරිසක් ද මුළාවෙන් මුළාවට පත්ව ත්‍රිවිධ රත්නයේ සරණ අතහැර සිටිති. ව්‍යාජ රහතුන් සරණ යති.

සතරවෙනි පාරාජිකාවට පත්වීමෙන් භික්ෂූන් වහන්සේලාව වළකාලීම පිණිස ශික්ෂාපදය පනවන්නට පෙර අප භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි සිටිනා මහා හොරු පස් දෙනෙක් ගැන මෙසේ වදාළ සේක.

“මහණෙනි, ලෝකයෙහි මේ මහා හොරු පස් දෙනෙකි. ඒ පස්දෙනා කවරහු ද යත්,

  1. මහණෙනි, මෙහිලා එක්තරා මහසොරෙකුට මෙවැනි අදහසක් ඇති වෙයි. ‘මම සිය දහස් ගණනින් පිරිවරාගෙන ගම් නියම්ගම්වල මිනිසුන් නසමින් නස්වමින් සිඳිමින් සිඳවමින් ගිනි තබමින් ගිනි තබවමින් ඇවිදින්නේ කවදාද?’ කියා ය. ඒ සොරා පසු කලෙක සිය දහස් ගණනින් පිරිවරාගෙන ගම් නියම්ගම්වල මිනිසුන් නසමින් නස්වමින් සිඳිමින් සිඳවමින් ගිනි තබමින් ගිනි තබවමින් ඇවිදියි. මහණෙනි, ඒ අයුරින් ම මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පාපී භික්ෂුවකට මෙසේ සිතෙයි. ‘මම සිය දහස් ගණන් සැදැහැවතුන් පිරිවරාගෙන ගම් නියම්ගම් රාජධානිවල ගිහි පැවිද්දන්ගෙන් ගෞරව සත්කාර සම්මාන ලබාගෙන, සිව්පසය ලබාගෙන සැරිසරන්නේ කවදාද?’ කියා ය. පසු කලෙක ඒ පවිටු භික්ෂුව සිය දහස් ගණන් සැදැහැවතුන් පිරිවරාගෙන, ගම් නියම්ගම් රාජධානිවල ගිහි පැවිද්දන්ගෙන් ගෞරව සත්කාර සම්මාන ලබාගෙන, සිව්පසය ලබාගෙන සැරිසරයි. මහණෙනි, මොහු ලොවෙහි දකින්ට ලැබෙන පළමුවැනි මහාසොරා ය.
  2. මහණෙනි, අනිකක් කියමි. මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පවිටු භික්ෂුවක් තථාගතයන් විසින් වදාරන ලද ධර්ම විනය ඉගෙනීමෙන් පසු එය තමන්ගේ දෙයක් යැයි ප්‍රකාශ කරයි. මහණෙනි, මොහු ලොවෙහි දකින්නට ලැබෙන දෙවැනි මහාසොරා ය.
  3. මහණෙනි, අනිකක් කියමි. මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පවිටු භික්ෂුවක් පිරිසිදුව බඹසර හැසිරෙන සත්පුරුෂ භික්ෂුවකට පදනමකින් තොරව ද්වේෂ සහගතව පාරාජිකාපත්තියකින් චෝදනා කරයි නම් මහණෙනි, මොහු ලොවෙහි දකින්ට ලැබෙන තුන්වැනි මහාසොරා ය.
  4. මහණෙනි, අනිකක් කියමි. මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පවිටු භික්ෂුවක් සංඝයා උදෙසා පූජා කරන ලද යම් බඩු භාණ්ඩ පිරිකරාදිය වෙයි නම් එනම්; ආරාම වතු, වෙහෙර වතු, ඇඳපුටු, ලෝහ සැළි, පොරෝ කෙටේරි උදලු, තෘණ වර්ග, දැව වර්ග, මැටි බඳුන් ආදියෙන් ගිහියන්ව සතුටු කොට පොළඹවා තමාට හිතවත් කරගනියි නම් මහණෙනි, මොහු ලොවෙහි දක්නට ලැබෙන සිව්වැනි මහාසොරා ය.
  5. මහණෙනි, යම් පවිටු භික්ෂුවක් තමා උපදවාගෙන නොමැති ධ්‍යාන, මාර්ගඵල, අභිඥා ආදිය තමා තුළ තිබෙන්නේ ය කියා කියයි නම් මේ භික්ෂුව දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාව තුළ වාසය කරන ප්‍රධාන ම මහාසොරා වෙයි. ඒ මක් නිසා ද යත්, මොහු සොර සිතින් රටවැසියාගේ සිව්පසය අනුභව කරන නිසා ය.

ගාථා :-

  1. යමෙක් වෙන ආකාරයකට ජීවිතය ගෙවමින් තවත් ආකාරයකට පවසයි නම්, ඔහුගේ ඒ සොරකමින් සිව්පසය අනුභව කිරීම ලිහිණි වැද්දා විසින් ලිහිණියන් මුළාකොට මරාකෑමක් බඳු ය.
  2. හුදෙක් ගෙලෙහි වසාගත් කසාවත් ඇති නොහික්මුණු පාපී පුද්ගලයෝ බොහෝ සිටිති. ඒ පවිටෝ තමන්ගේ පාප කර්මයෙන් ම නිරයේ උපදිති.
  3. ඉදින් නොහික්මුණු දුස්සීල භික්ෂුව රටවැසියා මුළාකොට ඔවුන්ගේ සිව්පසය අනුභව කරන්නේ නම් එයට වඩා හොඳ වන්නේ ගිනිසිලුවක් සේ රත් වී ගිය යකඩ ගුලි අනුභව කිරීම ය.

මෙසේ ගැරහූ භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදය මේ අයුරින් පනවා වදාළ සේක. “යම් භික්ෂුවක් ආර්යයන්ගේ අවබෝධයට අයත් වූ ධ්‍යාන මාර්ගඵල අභිඥා ආදිය තමා තුළ නැතුව තිබියදී ‘මා තුළ මේවා තිබෙන බව මං දන්නවා ය, මා තුළ තිබෙන බව මං දකිනවා ය’ කියා කියන්නේ ද, නමුත් පසු කාලයකදී ඔහුගෙන් ඇසූ විට හෝ නොඇසූ විට හෝ පාරාජිකාවට පත්ව සිටියදී පිරිසිදු බවට කැමතිව මෙසේ කියයි ද ‘ඇවැත්නි, මං නොදැන ම යි මෙසේ දන්නවා ය කීවේ. මං නොදැක ම යි දකිනවා කියා හිස් බොරුවක් කීවේ.’ කියා මහණෙනි, මේ භික්ෂුව පාරාජිකාවට පත්වූවෙකි. සිල්වත් සංඝයා සමග ඇසුරට නුසුදුසු ය.”

(පාරාජික පාළි)

මේ අනුව නුවණැත්තෝ ධර්ම විනයට ම ගරු කරත්වා! හුදෙක් කරුණු කාරණා නොදැන වහ වහා ප්‍රතිඵල ලැබිය හැකිය කියා කියන එක එක භාවනාවල් පසුපස නොගොසින් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කොට පහන් සිතින් බුදුන් සරණ යත්වා! ධර්මයෙහි ගුණ මෙනෙහි කොට පහන් සිතින් දහම් සරණ යත්වා! ගෞතම බුදු සසුන එකළු කළ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් රහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කොට පහන් සිතින් සඟුන් සරණ යත්වා! එය බොහෝ කල් හිතසුව පිණිස පවතිනු ඇත.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


sources :mahamevnawa.lk

Share: